Friday, 20 August 2021

ජනමාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය



   ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර්මාණය කරන ලද මතවාදයන් යන්න අදහස් වේ. ස්තී‍්‍රභාවය (Femininity) සහ පුරුෂභාවය  (Masculinity) යන්න ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පයේ මූලිකත්වය ගන්නා අතර කාන්තාව සහ පිරිමියා විසින් සමාජය තුළ නිරූපනය කරන භූමිකාවන් ඒ හරහා නිරූපනය වේ.


ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනය 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ඈන් ඔස්ලේ වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසු කාලීනව විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ධනය විය. ස්තී‍්‍ර-පුරුෂ සමාජභායව (Gender) සහ ලිංගිකත්වය යනු (Sex) එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. ලිංගිකත්වය හුදෙක් ජීව විද්‍යාත්මක සහ මානව ප‍්‍රජනනය සම්බන්ධ කාරණයකි.

මෙම සංකල්පය පුළුල් ලෙස ව්‍යාප්ත වූයේ බටහිර සන්දර්භයේය. බටහිර සමාජ වටිනාකම් ඔස්සේ ව්‍යාප්ත වූ සංකල්පයක් බැවින් ආසියාතික, අප‍්‍රිකානු සහ ලතින් ඇමරිකානු සමාජ සන්දර්භය සතු වටිනාකම් අවබෝධ කර ගැනීමෙන් තොරව මෙම සංකල්පය හදුන්වාදීමට දරන ලද උත්සහයන් නිසාවෙන් ගැටළු නිර්මාණය විය.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ ආරම්භයේ සිට විද්‍යාමාන වන එළැඹුම වූයේ එය පුරුෂාධිපත්‍යට එරෙහි සංකල්පයක් ලෙසිනි. පුරුෂාධිපත්‍යය යන්න කවර සමාජ ක‍්‍රමයක සම්භවය වූ සංකල්පයක්ද යන්න නිෂ්චිතව හදුනාගැනීමට අපහසුය. පීතෘ මූලික සමාජයක පුරුෂයා කෙරෙහි ආධිපත්‍ය බල රටාවක් ගොඩ නැගූ බව පුරුෂාධිපත්‍යය සංකල්පයේ ඓතිහාසික මතවාද විමසුමට ලක් කිරීමේදී පැහැදිලි කෙරේ. 

මීට අමතරව මහාචාර්ය මෝටිමෝ වීලර්, දික්ෂිත් වැනි පුරාවිද්‍යාඥයින් මොහෙන්දජාරෝ, හරප්පා ශිෂ්ටාචාර ආශ්‍රිත කැනීම් ඇසුරෙන් මව් දෙවඟන සංකල්පය එම ශිෂ්ටාචාර තුළ පැවැති බව හදුනාගෙන තිබේ. ඒ අනුව ඒවා පුරුෂාධිපත්‍ය සමාජ ක‍්‍රමයන්ට පෙර කි‍්‍රයාත්මක වූ ස්ත‍්‍රිය මූලික කරගත් සමාජ ක‍්‍රමයක් වශයෙන් විශ්වාස කෙරෙයි.  

ලෝකයේ බොහෝ නව මතවාදයන් ව්‍යාප්ත වූ සමයක ස්ත‍්‍රිත්වය පිලිබදව නව්‍යවාදී දෘෂ්ඨිකෝනයකින් විග‍්‍රහ කළ රසෑන් අයිස්ලර් ස්වකීය විග‍්‍රහයේදී අර්ථකතනය කරන්නේ පේ‍්‍රමය සහ සමාව පිළිබඳ ඉගැන්වෙන ආගමක් වශයෙන් ක‍්‍රිස්තියානි ධර්මය තුළින් හෝ පෘථීවිය මත ස්ත‍්‍රීත්ව සංකල්පය සාධාරනීකරණය කර නොමැති බවයි. ශුද්ධ වූ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ ලෝකෝත්පත්ති කථාවේ ලෝකයේ මැවීම පිළිබද සංකල්පයේදී ගැහැණියට ද්විත්ව ස්ථානය ලබා දී තිබෙන බව අයිස්ලර්ගේ අදහසයි. 

පුරුෂාධිපත්‍ය සමාජ ක‍්‍රමය වඩ වඩාත් ස්ථාවරවත්ම කාන්තාවගේ ස්ථානය මව් දෙවඟනගේ සිට උපයෝගීතා භාණ්ඩයක මුහුණුවර දක්වා විකාශනය විය. ජනමාධ්‍ය, වෙළඳ දැන්වීම්, සිනමාව ආදීමේ බොහෝ කේෂ්ත‍්‍රවල කාන්තාව උපක‍්‍රමික අරමුණු සහිතව භාවිතකෙරෙන්නක් බවට පත්විය. කාන්තාව සහ මාධ්‍ය භාවිතය සම්බන්දයෙන් ප‍්‍රථම වරට ජාත්‍යයන්තර අවධානය යොමු වූයේ 1982 වසරේ පැරීසියේ පැවති කාන්තාව හා ජනමාධ්‍ය සමුළුවේදීය.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කාන්තාව පිළිබදව සාකච්ඡා කිරීමේදී ප‍්‍රධාන ලක්ෂන 02 ක් හදුනා ගැනිමට පිලිවෙන. 
        01.කාන්තාවන් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා ආශ‍්‍රිතව නියැලමේ ප‍්‍රතිශතය අඩු වීමයි. 
        02. එසේ වුවද ස්ත‍්‍රී රූපය මාධ්‍ය තුල බෙහෙවින් දැකිය  හැකි වීමයි.  

වර්තමාන ලෝකය තුළ ප‍්‍රවෘත්ති, දැනුම සහ විනෝදාස්වාද යන මානව සන්නිවේදන අවශ්‍යතා සම්පූර්ණ කිරිමෙහිලා මූලිකම දායකත්වය ජනමාධ්‍ය විසින් සපයනු ලැබේ.  ඕනෑම සමාජ ස්ථරයක පවුල් ඒකකයක් තුළ පුවත්පත අතිශය වැදගත් ස්ථානයක් හිමිවන අතර ගුවන්විදුලිය, රුපවාහිනිය වැනි සෙසු ජනමාධ්‍යවලටද එලෙසම වැදගත්කමක් හිමිවේ.

මහජනතාව විවිධාකාර කාරණා පිළිබඳ තම මතය ගොඩනගා ගන්නේ ඔවුනට ලැබෙන තොරතුරු තෝරා බේරා ගැනීමෙන් සහ අවබෝධකර ගැනිමෙනි. ඒ කාර්යය ඉටුකිරීම හරහාම ජනමාධ්‍ය මඟින් බොහෝ මතවාදයන් සමාජගත කරනු ලබයි. මාර්ෂල් මැක්ලූහාන් විසින් 1964 වර්ෂයේ ලියූ ‘The Medium is the message’ ග‍්‍රන්ථයේ සඳහන් කළ ආකාරයට ප‍්‍රවෘත්ති සහ විනෝදාස්වාදය ලබාදීම හැරුණුකොට ජනතාවගේ මතවාද, ආකල්ප සහ විශ්වාසයන් සකස් කිරිමටද එය කටයුතු කරයි. ඒ අනුව මහජන මතය සකස් කිරීමට හෝ වෙනස් කිරිමට ජනමාධ්‍ය සතුව අසීමිත බලයක් ඇත. 

ගැහැණිය සහ පිරිමියා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතවාද පැතිරවිමට සහ ඒවා ශක්තිමත් වීමට වැඩියෙන්ම බලපානු ලබන්නේ ජනමාධ්‍යයි. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජනමාධ්‍යයේ හැසිරීම පුරුෂාධිපත්‍ය තුළ කාන්තාවට හිමි ද්විතීය ස්ථානය සාධාරණීකරණය කරන සහ එය ප‍්‍රචලිත කරන ආකාරයේ එකක් බව අතිශය පැහැදිලිය. 

උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යනාංශයේ ආචාර්ය ජූලියා T. වුඩ් ප‍්‍රකාශ කරන ආකාරයට ජනමාධ්‍ය ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබද ජනමතය  හසුරවන්නට දායකවන ආකාර 03 ක් ඇත.

             01. කාන්තාව අවතක්සේරුකරණය කිරිම. 

        02. කාන්තාව සහ පුරුෂයාට සමාජයේ පිළිගත් මතය තුළ හිමි ප‍්‍රතිරූප දිගින් දිගට ප‍්‍රචාරණය කිරීම.
            03. කාන්තාව පුරුෂයාට වඩා අඩු වැදගත් බවින් පෙන්විම

ජූලියා වුඩ් සඳහන් කරන ආකාරයට පුවත්පතක ලිපි හා දැන්වීම් තුල, රූපවාහිනි ප‍්‍රවෘත්ති හෝ වෙනත් වැඩසටහන්වලදි වඩා වැදගත් කාර්යය පිරිමියාට පැවරීම සහ වැඩසටහනෙහි වැඩි අවධානය පිරිමියාට පැවරීම සෑමවිටම පාහේ සිදුවේ. මේ තුළ කාන්තාවට වඩා පුරුෂයා හැකියාව සහ ප‍්‍රතිරූපය අතින් ඉදිරියෙන් සිටින්නේයැයි අදහසක් ගම්‍යකරන බව ඇගේ අදහස විය.

කාන්තාවට වඩාත් සුදුසු ඉවුම්පිහුම්, රූපලාවන්‍ය වැනි කාර්යයන් මිස දේශපාලනය වැනි වඩාත් සංකිර්ණ මාතෘකා නොවේයැයි කියාපෑමටත් එය තහවුරුකිරිමටත් සිය වැඩසටයන්වල නිවේදන හෝ නිරූපන ශිල්පීන් තෝරාගැනීමේ කාර්යය හරහා මාධ්‍යය දායක වෙන බව ඇය තව දුරටත් කියා සිටියි.

ජනමාධ්‍ය තුලින්  ස්ත‍්‍රීය සහ පුරුෂයා නිරූපනය කිරීම පිලිබදව සලකා බැලීමේදී ගමක නායකයා, වනාන්තරයේ සතුන්ගේ රජු ආදී වශයෙන් වඩාත් බලවත් සහ ඉදිරිපෙළ චරිතය පිරිමි චරිත වීමත් කාන්තාවට හිමිවන්නේ රැුවටීමට ලක්වන්නන්ගේ හෝ අහිංසක චරිතය බවත් හදුනා ගැනීමට හැකි වේ.

වෙළඳ ප‍්‍රචාරණය කාර්යයන් තුළ බොහෝවිට කාන්තාව පෙනී සිටින්නේ ඉවුම් පිහුම් හෝ රෙදි සේදීම සිදුකරන ගෘහණියගේ චරිතයටයි. එසේ නොවන අවස්ථාවල වෙළඳ දැන්වීම් විසින් ගැහැණියගේ සරාගී ඉරියව් දක්වමින් හෝ ඇයගේ සිරුරේ අඟපසඟ ඉස්මතු කරමින් ඇයව නිරූපනය කරන අතර ඒ හරහා ලිංගිකත්වය උත්තේජනය කරන්නියක වශයෙන් ඇය පිළිබඳ ඇති සම්ප‍්‍රදායික ප‍්‍රතිරූපය වර්ධනය කරන්නට කටයුතු කරයි. ජනමාධ්‍යවල පලවන කාන්තාවන් පිළිබඳ සාරාගික දර්ශන සහ කාමය අවුස්සන සුලු දර්ශන ස්තී‍්‍ර දූෂණ සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපාන බව බොහෝ සමාජවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් අනාවරණයව ඇත. 

කාන්තාව උපයෝගීතා භාණ්ඩයක් වශයෙන් සමාජගතකිරීම හැරුණුකොට ජනමාධ්‍ය විසින් කාන්තාවට අත්කරන භයානකම තත්ත්වය නම් කාන්තාව සහ පුරුෂයා අතර සම්ප‍්‍රදායික සබඳතාවයේ උසස් බව පෙන්වා සිටීමට සහ කාන්තාවට එරෙහි හිංසනය සහ ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණයකිරීමට කටයුතුකිරීමයි. 

රූපවාහිනි නාට්‍ය හෝ රූපවාහිනිය මගින් ප‍්‍රචාරණය වන චිත‍්‍රපටි  හරහා ගැහැණිය පිරිමියාගේ ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන ආකාරය හා ඇය එවැනි හිංසනයන් තනිව දරා සිටින ආකාරය ආදිය පෙන්වා සිටී. කාන්තා හිංසනයන් නිරූපනය කරන මුත් එයින් පිරිමියාගේ ආධිපත්‍ය ගම්‍යකිරීම හැර කාන්තාව එයට විරුද්ධව නැගී සිටින ආකාරය හෝ ඇය ඒවාට විරුද්ධව නීතිය ඉදිරියට යන ආකාරය බොහෝ විට මෙම නාට්‍ය/චිත‍්‍රපට තුල දර්ශනය නොවේ. ඒ හරහා පිරිමියාගේ ඇති අධිපතීත්වය තහවුරු කරන්නටත් පිරිමි ආධිපත්‍ය හමුවේ කාන්තාව ප‍්‍රතිචාරය දැක්විය යුත්තේ හුදෙක්ම නිහඬතාවයෙන් පමණකැයි ඒත්තු ගන්වන්නටත් මාධ්‍ය දායකවේ. 

1883 දී ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද දණුඩ නීති සංග‍්‍රහය මගින් සහ 2005 වසරේදී සම්මත වූ ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැලැකිවීමේ පනත මඟින් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය වළක්වාලීම සඳහා ඉඩකඩ සලසා ඇත. එසේ වුවද නීතියේ පරාසයන්ට හසු නොවන්නා වූ මනෝවිද්‍යාත්මක කි‍්‍රයාකාරීත්වයක් හරහා පුරුෂාධිපත්‍ය තහවුරුකිරීමත් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම්කරගත් හිංසනය සාධාරණීකරණයකිරීමත් සිදුවන බව පැහැදිලිය. 

ජනමාධ්‍ය හරහා ප‍්‍රතිනිරූපනය වන්නේ පවතින සමාජයෙහිම තවත් එක් හරස්කඩකි. ඒ අනුව කාන්තාව සහ පුරුෂයා පිළබඳ සම්ප‍්‍රදායික අදහස් නඩත්තු කිරීමට ජනමාධ්‍ය යොමුවීම සමාජය තුළ තවමත් ඒ තත්ත්වය එලෙසින්ම පවතින නිසා සිදුවූවක් මිස අන් හේතුවක් මත සිදුවන්නක් නොවේ. 

කොකාකෝලා සමාගම විසින් වෙළඳපොලට හඳුන්වාදුන් Fairlife නම් කිරි ආශි‍්‍රත නව නිශ්පාදනයක් පිළිබඳ දැන්වීම් මාලාවක් 2014 නොවැම්බර් මාසයේ එක්තරා දිනෙක පළවිය. මෙම දැන්වීම් මාලාවට යොදා තිබූ මූලික සිරස්තලය "ඇය ඇඳන් ඉන්න දේ ඔබ බොන්න." යනුවෙන් අර්ථ දෙන්නක් විය. එම දැන්වීමෙහි නිරූපිකාවගේ කෙටි ඇඳුම නිරූපනය වී තිබුනේ කිරිවලින් තැනුන ආකාරයෙනි. 

කාන්තාව යන වචනය සහ ඇගේ රූපය සිතුම් පැතුම් හා ආකල්පවලට බලපෑම් කිරීමට හැකි වචනයක් ලෙස මාධ්‍ය ලෝකයේ  සැලකේ. ස්ත‍්‍රිය යනු පොදු ජනයාගේ ආකල්ප මත නිර්වචනයවන්නකි. එහි අර්ථය නම් අවශ්‍ය නම් සමාජයට ස්ත‍්‍රිය ලිංගික භාණ්ඩයක් වශයෙන් සැලකිය හැකි බවත් නැතහොත් සමාජයට එය පිරිමින් සහ සමතැන්හි ලා සැලකිය හැකි බවත්ය. වෙනස ඇත්තේ ස්ත‍්‍රිය පිළිබඳ සමාජයේ මේ ආකල්ප හැඩගැසීමට ජනමාධ්‍ය විසින් සෘජු කාර්යයක් සිදුකිරීම තුළය. 

සන්නිවේදන අර්බුද සඳහා වන ජාත්‍යන්තර කොමිසම විසින් සකසනු ලදුව 1980 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප‍්‍රසිද්ධ කළ ‘Many Voices One World  හෙවත් මැක්බ‍්‍රයිඩ් වාර්තාවට අනුව  ප‍්‍රචාරණය සහ ආකාර්ෂණය සඳහා ජනමාධ්‍ය විසින් කාන්තාව බහුලව භාවිතවුවද එකී ජනමාධ්‍යම කාන්තාවන් සදහා සංවේදී වන සංස්කෘතික, දේශපාලනික හෝ ආර්ථිකමය කරුණු ආවරණයකිරිම සඳහා යොමුකරනුයේ අතිශය පටු අවධානයකි. පුවත්පත් සඟරා ලිපි සහ දැන්වීම් ඇතුලු බොහෝ ජනමාධ්‍ය සන්නිවේදන කි‍්‍රයාකාරකම් තුළ කාන්තා චරිත පිරිමියාට යටත්ව සිටින, බුද්ධි හීනබවින් යුත්, මිත්‍යා විශ්වාස දරන, අසාමාන්‍ය ලෙස හැඟීම්බරව හැසිරෙන, බොහෝ විට ගෙදර වැඩපල සම්බන්ධයෙන් පමණක් වගකීම දරණ සහ කාමුක හැඟීම් දනවන පරිද්දෙන් නිරූපනය වේ. 

ඒ අනුව ලෝකයේ කිසිම තැනෙක ජනමාධ්‍ය හා කාන්තාව අතර සම්බන්දතාවය මෙන්ම කාන්තාවගේ සිතුම් පැතුම් හැඩගැස්වීමෙහිලා ඒවා විසින් සිදු කර ඇති බලපෑම ද ධනාත්මක මානයෙන් හදුනාගත නොහැකිව ඇත. 

1995 පැවැත්වූ ලෝක කාන්තා සමුළුවේ ප‍්‍රතිපලයක් ලෙස සැකසුනු ගෝලීය ක‍්‍රියාකාරී සැලැස්ම පදනම් කරගෙන 1996 දී මෙරට රජය විසින් කාන්තාවන් වෙනුවෙන් ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සකස්කරන ලදී. කාන්තාවන්ට එරෙහි හිංසනය, කාන්තාව සහ මානව හිමිකම්, කාන්තාව සහ යුධ ගැටුම්, අධ්‍යාපනය හා පුහුණුව, ආර්ථික කටයුතු සහ දිළිදුකම, පරිසරය සහ තීරණ ගැනීම ආදී වශයෙන් අවධානය දැක්විය යුතුයැයි ඉහත වාර්තාවෙන් විශේෂණය කර තිබූ කේෂ්ත්‍ර අතර ගැහැණු දරුවා සහ මාධ්‍ය යන්න වඩාත් ප්‍රමුඛ එකක් විය. 1996 දී එවැන්නක් ක්‍රියාකාරී සැලැස්මක් යටතට ගැණුන නමුත් මේ දක්වාත් රජය විසින් එ් සම්බන්ධයෙන් ගනු ලැබූ පැහැදිලි පියවරක් හදුනාගන්නට නොමැත. 

ජනමාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පුහුණු ආයතනවලට ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ක‍්‍රමානුකූලව දැනුවත්කිරීමක් අවශ්‍යව ඇති අතර පොදු සමාජය තුළ ස්තී‍්‍ර-පුරුෂ සමාජභාවය පිළිබඳ ඇති වැරදි මත ඉවත් කිරීමට කටයුතුකිරීමත් තම මාධ්‍ය භාවිතය තුළින් සිදුවිය හැකි එවැනි වැරදි මත තහවුරු කෙරෙන ආකාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්වයං වාරනයක් සහිතව ක‍්‍රියාකිරීමත් ජනමාධ්‍ය සතු වගකිමකි.

Tuesday, 3 August 2021

ප්‍රේක්ෂකයන්ට තහනම් වූ ටෝකියෝ ඔලිම්පික්

                        



                     විශ්වයේ මහා රංගනය හෙවත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 23වැනිදා ජපානයේදී ආරම්භ වුනි. සැබවින්ම එය ජපානය ලබා ගත් තවත් යුද ජයග්‍රහණයකට සමාන කළ හැකිය. එසේ කියන්නේ මෙවර ඔලිම්පික් පැවැත්වීම සැබවින්ම අභියෝගයක් වූ නිසාය.

නියමිත කාලය අනුව නම් ඔලිම්පික් පැවැතිව යුතුව තිබුණේ පසුගිය වසරේ එනම් 2020 ජූලි මාසයේදීය. එහෙත් ක්‍රමයෙන් මුළු ලොවම කොවිඩ් වයිරසයේ ග්‍රහණයට නතු වන විට ජපානය තීරණය කර සිටියේ ඔලිම්පික් 2021 වසරට කල් දැමීමටය. ඒ හැර වෙනත් විකල්පයක් නොවීය. එසේ නොකරන්නේ නම් කළ යුතුව තිබුණේ 2020 ඔලිම්පික් උළෙල සම්පූර්ණයෙන් අහෝසි කර 2024 ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ජපානයට ලබා දීමය. ඒ යටතේ 2024 ඔලිම්පික් පැවැතවීමේ අවස්ථාව ලබා සිටින ප්‍රංශයට 2028 වසරේදී ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ලබා දිමටත්, 2028 ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව ලබා සිටින ඇමරිකාවේ ලොස් ඇන්ජලස් නගරයට එම අවස්ථාව 2032 වසරේදී ලබා දීමටත්, 2032 වසරේ ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව දිනා සිටින ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව ඉන් පසුව උදා කර දීමටත් යනාදී වශයෙන් විකල්ප යෝජනා විය.

එහෙත් ජපානය සෑම විටම උත්සාහ දැරුවේ තම රට වයිරසයෙන් ආරක්ෂා කර ගනිමින් කෙසේ හෝ ඔලිම්පික් පැවැත්වීමය. අවසානයේ තරගාවලිය 2021 වසර දක්වා කල් දැමූ අතර සංචරණ සීමා දිගටම පවත්වා ගනිමින් ජපානය ඔලිම්පික් පැවැත්වීම සඳහා උපරිම උත්සාහ දැරීය. එහෙත් එය සිතූ තරම් පහසු වූයේ නැත.

මේ වන විටත් ටෝකියෝ නගරයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ දිනෙන් දින වර්ධනය වන කොවිඩ් ආසාධිතයන්ගේ සංඛ්‍යාව හේතුවෙනි. ඔලිම්පික් සඳහා සහභාගී වීමේ අරමුණින් යුක්තව ජපානයට පැමිණෙන ක්‍රීඩකයන් අතරින්ද කොවිඩ් ආසාදිතයන් දිගින් දිගටම වාර්තා වෙමින් තිබේ. ඒ අතරින් ඇතැම් ක්‍රීඩකයෝ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ලෙසද වාර්තා වී තිබිණි.

අවසානයේ ජපාන බලධාරීන් කොවිඩ් පාලනය කළ නොහැකි වාතාවරණයක් තුළ ඔලිම්පික් පැවැත්වීමේ අභියෝගය ජය ගැනීමට උප්පරවැට්ටියක් කල්පනා කළහ. ඒ අනුව මෙවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙනු ඇත්තේ නරඹන්නන් නොමැතිවය. එබැවින් මෙවර ඔලිම්පික් තරගාවලිය අති විශේෂ තරගාවලියක්ම වනු ඇත.

ඒ අනුව ජපාන බලධාරීන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම එලැබි 23 වැනිදා 2021 ඔලිම්පික් තරග ජපානයේදී ආරම්භ කරනු ලැබූ අතර සමාරම්භක උත්සවය 21වැනිදා පැවැත්වීය. මෙලෙස ආරම්භ වූ ජපාන ඔලිම්පික් උළෙල අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 8 වැනිදාය. ඒ අතර තුර ක්‍රීඩා ඉසව් 33 පැවැත්වීමට නියමිත අතර ඒවායේ ජයග්‍රාහකයන්ට පදක්කම් 339ක් බෙදා දිමට නියමිතය.

ජපානය පුරා ස්ථාන 42කදී මේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු යොදා අවසන්ය. සමාරම්භක උත්සවයෙන් පසු ප්‍රථම ක්‍රීඩා තරගය ලෙස සොෆ්ට් බෝල් ක්‍රීඩා ඉසවිව ෆුකුෂිමා හිදී පැවැත්වීමට නියමිත අතර ඒ ක්‍රීඩා තරගයට ‘යළි නැගිටිමු’ තේමාව ලබා දී ඇත. වසංගතය හේතුවෙන් ප්‍රේක්ෂකයන් නොමැතිව මෙවර ඔලිම්පික් පැවැත්වෙනවා සේම අතීතය විමසා බලව විට තවත් එවැනි සුවිශේෂී අවස්ථා යටතේ පැවැත්වූ ඔලිම්පික් තරග කිහිපයක්ම හමුවේ.

එම ඔලිම්පික් උළෙල සාමාන්‍ය අවස්ථාවන් ගෙන් වෙනස් වීමට බලපෑ හේතු අතර ප්‍රධාන වශයෙන් හමුවන්නේ යුද්ධයයි. අවසන් වශයෙන් වසංගතයක් ලොව පුරා පැතිර ගිය 1918 වසරේදී වාසනාවකට මෙන් ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට නියමිතව තිබු‌ණේ නැත. එහෙත් ඊට පෙර එනම් 1916දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල කල් දමනු ලැබුවේ පළමුවැනි ලෝක යුද්ධය හේතුවෙනි. එවර ඔලිම්පික් උළෙලේ සත්කාරක රට බවට පත්ව තිබුණේ ජර්මනියයි. එහෙත් වසංගත සහ යුද්ධ අවසන්ව 1920 වසරේදී සාර්ථක ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට බෙල්ජියමට හැකියාව ලැබිණි.

එහෙත් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන්නේය යන කියමන සැබෑවක්දැයි සිතෙන්නේ හරියටම 1940ද ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි වීමෙනි. එයට හේතුව වූයේ වර්ධනය වෙමින් පැවති ලෝක යුධමය තත්ත්වයයි. එවර කොතරම් උත්සාහ දැරුවද ඔලිම්පික් උළෙල පැවැත්වීමේ හැනියාව ජපානයට ලැබු‌ණේ නැත. එයින් පසු 1944දී ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව උදා කරගෙන සිටියේ ඉතාලිය වූ නමුදු එම ඔලිම්පික් උළෙලද අවලංගු කරනු ලැබුවේ දෙවැනි ලෝකය යුද්ධය හේතුවෙනි.

මෙලෙස යුධමය තත්ත්වයන් හේතුවෙන් ඔලිම්පික් උළෙල කිහිපයක්ම අහෝසි කරනු ලැබුවද ඒවා නොපැවැත්වීම හැරුණු කොට වෙනයම් ඛෙදවාචකයන් වාර්තා වූයේ නැත. ඇතැම් විට එම උළෙල අහෝසි කර දැමීමට ගත් යහපත් තීරණ හේතුවෙන් විය හැකිය. එහෙත් 1972 ඔලිම්පික් උළෙල නම් එවැනි වූ වාසනාවන්ත ක්‍රීඩා උළෙලක් වූයේ නැත. එම ක්‍රීඩා උළෙල ලෙයින් අවසන් වූ උළෙලක් වූයේ සමස්ත ලෝකයම කඳුළු ගඟක ගිල්වමිනි.

එවර ඔලිම්පික් පැවැත්වීමේ අවස්ථාව හිමි වී තිබුණේ බටහිර ජර්මනියට වූ අතර මියුනිච් නගරය ඒ සඳහා මනාව සූදානම් කර තිබිණි. ඒ සඳහා සහභාගී වීමට පැමිණි කණ්ඩායම් අතර ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමද වූ අතර ඔවුන් සැප්තැම්බර් 4වැනිදා රාත්‍රියේ අවට නගරයේ සැරිසරමින් ප්‍රීතියෙන් කාලය ගෙවූහ.

බොහෝ රෑ බෝවූ පසු තම කාමරවලට පැමිණ සුවසේ නින්දට පිවිසි ඔවුන් පසුදින උදැසන අවදි වූයේ ඛේදවාචකයක් අත් විඳිමටය. රාත්‍රියේ ඔවුන් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලට පිවිසි පලස්තීන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඊශ්‍රායෙල් ක්‍රීඩක‍ෙයක් ප්‍රාණ ඇපයට ගත්හ. ඔවුන් පලස්තීනයේ ‘කළු සැප්තැම්බර්’ නම් ත්‍රස්තවාදී කණ්ඩායම යනුවෙන් තමන් හඳුන්වා දුන්හ. ඔවුන් අට දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම ඊශ්‍රායෙල් ක්‍රීඩකයන් නව දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමට සමත් වූහ.

ඔවුන් තම මෙහෙයුම ‘ඉක්රිට් සහ බිරාම් ‘ යනුවෙන් නම් කර තිබිණි. මේ ස්ථාන දෙකම පලස්තීනයේ ප්‍රදේශ වූ අතර ඒවා ක්‍රමයෙන් ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන තිබිණි.

ප්‍රාණ අපැකරුවන් අත්අඩංගුවට ගෙන මඳ වේලාවකින් මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ඊශ්‍රායලයට පවසා සිටියේ ඊශ්‍රායෙල් අත්අඩංගුවේ සිටින පලස්තීන ජාතිකයන් 234 දෙනෙකු නිදහස් කරන ලෙසයි. එහෙත් ඒ වන විටත් මියුනිච් පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටි අතර ක්‍රීඩකයන් මුදා ගැනීමේ මෙහෙයුමක් හැකි ඉක්මනින් සංවිධානය කෙරිණි. ඒ වන විටත් ත්‍රස්තවාදීන් අතින් ක්‍රීඩකයන් දෙදෙනකු මියගොස් සිටි අතර සෙසු පිරිස එකා බැගින් මරා දමන බවට තර්ජනය කෙරෙමින් පැවතිණි. අවසානයේ මියුනිච් පොලිස් නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුම සාර්ථක වූ නමුත් ත්‍රස්තවාදීන් සමඟ ඊශ්‍රායෙල් ක්‍රිඩකයන් හය දෙනෙක්ද ඒ වන විට මරු තුරුලට ගොස් තිබිණි. ත්‍රස්තවාදී අට දෙනාගෙන් හය දෙනෙකු මරා දැමිමට මියුනිච් පොලීසිය සමත්ව තිබූ අතර සෙසු ත්‍රස්තවාදීන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

ලෝක සාමය අරමුණු කර ගනිමින් පවත්වන ඔලිම්පික් වැනි ක්‍රීඩා උත්සවය සිදුවූ මේ මහා ඛේදවාචකය මුළු ලොවම තිගැස්සවීමට සමත් විය. එතැන් සිට ඔලිම්පික් තරග පැවැත්වීමේදී නව නීති රීති ගෙන ඒමටද ඔලිම්පික් කමිටුවට සිදුවිය.

පසුව පලස්තීන ත්‍රස්ත කණ්ඩායම ‘ලුෆ්තාන්සියා’ ගුවන් යානය පැහැර ගනිමින් පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස නියෝග කර සිටි අතර එසේ නිදහස් කළ සිරකරුවන් අතර මියුනිච් ප්‍රහාරයට පැමිණ දිවි බේරා ගත් ත්‍රස්තවාදීන් දෙදෙනාද විය.

කෙසේ වුවද එතෙක් මෙතක් ඔලිම්පික් උළෙලකදී සිදුවූ කනගාටුදායකම සිදුවීම මියුනිච් ඛේදවාචකය වූ අතර එයින් පසුව ලොව පුරා කොතෙක් භයානක ත්‍රස්ත කණ්ඩායම් බිහිවුවද ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර එවැනි ඛේදවාචක සිදු නොවීමට වග බලා ගැනීමට ලොව පුරා මෙතෙක් ඔලිම්පික් තරග සංවිධානය කළ සංවිධායකයන්ට හැකියාව ලැබිණි.

                        


දැන් යළිත් කොවිඩ් වසංගතය ප්‍රේක්ෂකයන් නොමැති ඔලිම්පික් උළෙලක් ලොවට තිළිණ කර තිබේ. ක්‍රීඩාව කොතරම් උද්‍යෝගී වුවද එහි ආත්මය වන්නේ ප්‍රේක්ෂකයන් බවට තර්කයක් නැත.

එබැවින් සජීවී ලෙස ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රේක්ෂකයන් නොමැති ඔලිම්පික් උළෙලක් ‘විශ්වයේ මහා රංගනය’ ඔලාරික කරනු ඇතිද යන බිය ඇතිවීම වැළැක්විය නොහැකිය. ඒ කෙසේ වුවද වයිරසයට පරාජය නොවී හැකි උපරිමයෙන් ඔලිම්පික් පැවැත්වීමට දැඩි උත්සාහයෙන් කටයුතු කළ ජපානය නම් මේ වන විටම රන් පදක්කමක් දිනා සිටින බව සඳහන් කළ යුතුමය.

Friday, 19 March 2021

ජල දහර



 ශ්‍රී පාද පද්ම සිරසෙන් බැස

පිරිසිදු දිය දහර

ගිරි දුර්ඝ පසුකර

ගල්කුලු මතින් බිදී

දනන් දිය පවස දුරුකර

සැමට ආශ්වාදය නංවමින්

කිසිදා නෙත නොදුටු

සාගරයට,

එනමුත්.......

නොලැබුනොත් ජල දහර

දකින්නේ අප සැවොම 

නිරුදක කතරකි

රුදුරු බිම් කතර

දැසි දනන් රොක්වෙමින්

රැකිය යුත්තකි ජල දහර....


                                   .....නිම්මි කෞශල්‍යා....

Monday, 15 February 2021

වදන් ඉක්ම වූ සන්නිවේදනය



සමාජීය සත්වයෙකු වශයෙන් ජීවත් වන මිනිසා සන්නිවේදනය කිරීමේදී විවිධ ක්‍රමෝපායන් භාවිතා කිරීම අපට දැකගත හැකිය. ඒ භාවිතා වන ආකාරයන්හි මූලික ස්වරූප අනුව සන්නිවේදනයේ ප්‍රධාන ආකාර දෙකකි.

                                01.වාචික සන්නිවේදනය

                                02.නිර්වාචික සන්නිවේදනය


            වචන භාවිත කරමින් නැතිනම් කට වචනය ඇසුරු කර ගනිමින් කෙරෙන සන්නිවේදනය වාචික සන්නිවේදනය නම් වේ. වර්තමානයේ මිනිසා බොහෝවිට යෙදෙන්නේ වාචික සන්නිවේදනයේය. සරල දිවි පෙවෙතකට අවශ්‍යය සාමාන්‍ය ගැමි වහරේ සිට ලෝකයේ බොහෝ සංකීර්ණ ගැටළු විසදීම දක්වාම ගැමියාට මෙන්ම පාලකයාට සිය කාර්යය ව්‍යූහයන් සඳහා අවශ්‍යය දෙයකි,වචන යෙදීම.චික සනන භාවිත කරමින් නැතිනම් නිර්වාචික සන්නිවේදනය යනු වචනයෙන් තොරව කරනු ලබන සන්නිවේදනයයි. වර්තමාන මිනිසා ඉතා දියුණු විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයක වාසය කරයි. නමුත් ඔවුන්ගේ ආරම්භය සලකතොත් අද භාවිත වන බොහෝ සංකීර්ණ භාෂා හා ලේඛන රටාවන්ට ප‍්‍රථමයෙන් ඔවුන් ප‍්‍රාථමිකව භාවිත කළේ නිිර්වාචික සන්නිවේදනයයි. වර්තමානයේ නිවසේ සිට මුළු විශ්වයටම නෙත් හෙළීමට හැකි තරම් ඒ සියල්ල සංකේත හා සංඥාවලින් බහුල නිර්වාචික සන්නිවේදන ජාලයක් බව පෙනේ. වාචික සන්නිවේදනය සේම නිර්වාචික සන්නිවේදනයද පුළුල් වපසරියකින් සමන්විත වේ.

            නිර්වාචික සන්නිවේදනයසන්නිවේදන විද්‍යාඥයින් වර්ගීකරණයට ලක් කරන්නේ භාෂා භාවිතයකින් තොරව සිදු කරන සන්නිවේදනයක් ලෙසය. සන්නිවේදන විද්‍යාඥයින් විසින් නිර්වාචික සන්නිවේදනය පිළිබදව නිර්වචන රාශියක් ඉදිරිපත් කර ඇත. "යම්කිසි සන්නිවේදනයක් ඉදිරිපත් කරන ක‍්‍රමයක් ශරීරය මාධ්‍යයක් කරගත් භාෂාවක් වශයෙන් හැඳින්විය හැකියයනුවෙන් ජේම්ස් වොට්සන් හා ඈන් හිල් පවසා ඇත. බර්ටන් ආර්. කැන්ෆීල්ඞ් සහ එච්.ෆෙසර් මුවර් දක්වන ආකාරයට "කථිකලිඛිතවචන භාවිතයෙන් යුක්ත වූ සන්නිවේදනය වාචික ලෙසත්යම් යම් බාහිර ක‍්‍රියාකාරකම්අභිනයන්මුහුණින් අදහස් ප‍්‍රකාශ කිරීම් හා පින්තූර මඟින් කෙරෙන සන්නිවේදනය නිර්වාචික ලෙසත් හැඳින්විය හැකිය.” මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් නිර්වාචික සන්නිවේදනය "සලකුණු හා සංඥාමය භාෂාවකට සම්බන්ධය” යනුවෙන් අර්ථ නිරූපණය කර ඇත. නිර්වාචික සන්නිවේදනය පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්නිර්වාචික සන්නිවේදනය සිදු කරන ක‍්‍රම කිහිපයක් දක්වා ඇත. එනම් මුහුණෙන් අදහස් ප‍්‍රකාශ කිරීමඅභිනයඅභිරූපනයනර්ථන රූසංගීතයගායනාචිත‍්‍රසිතුවම්මූර්ති හා ක‍්‍රීඩා ආදියයි. ඇල්බට් මෙහෙරායන් ප‍්‍රකාශ කරන පරිදි "පුද්ගලයන් දෙදෙනෙකු අතර සන්වේදනයක් සිදු වීමේ දීි ඉන් 35%ක් වාචික සන්නිවේදනයට ගැනෙන අතර 65% ක් සිදු වන්නේ නිර්වාචිකව සිදු කරන සන්නිවේදනයටයි.” ගලී සහ ලෙදර්ස් නිර්වාචික සන්නිවේදනය පහත සඳහන් කාර්යයන් ඉටු කරන බව පෙන්වා දී ඇත.
01. පුද්ගලාන්තර සන්නිවේදනයේ දී අර්ථය වටහා ගැනීමට නිර්වාචික සන්නිවේදනය ඉමහත් සේ  උපකාරී වේ.
02. හැගීම් සහ භාවයන් වාචිකව ඉදිරිපත් කරනවාට වඩා හොඳින් නිර්වාචිකව ඉදිරිපත් කළ හැකිය.
03. නිර්වාචික සන්නිවේදනයේ දී අර්ථයන් හා අභිප‍්‍රායයන් සාපේක්ෂ වශයෙන් අවුල් වියවුල් වලින් තොරව ප‍්‍රකාශ කළ හැකිය.
04 නිර්වාචික සංඥා හා ඉඟි නිසා උසස් සන්නිවේදන මට්ටමක් ඇතිකර ගත හැකිය.
05. වාචික සංඥාවලට වඩා නිර්වාචික සංඥා තුළින් කාර්යක්ෂමව සන්නිවේදනය කළ හැකිය.
06. යමක් ඇඟවීම හෝ යෝජනා කිරීම සඳහා වඩාත් සුදුසුම මාධ්‍යය නිර්වාචික සන්නිවේදනයයි.
ඊට අමතරව සන්නිවේදනය ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදේ. එනම්,
        01. පුද්ගලයා ආශ‍්‍රිතව අභ්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන ක‍්‍රම.
        02. පරිසරය ආශ‍්‍රිතව බාහිර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන ක‍්‍රම.
 පුද්ගලයා ආශ‍්‍රිතව අභ්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන ක‍්‍රම පිළිබඳව සඳහන් කිරීමේ දී මයිකල් ආර්ලිල් ගේ විවරණය මෙහිදී ඉතා වැදගත්ය. ඔහු විසින් පුද්ගලයා තුළ  ඇති නිර්වාචික සන්නිවේදන සංඥා දහයක් පමණ ඇති බව පෙන්වා දී ඇත.
01. ශාරීරික ස්පර්ශය
02. සමීපතාව
03. නැඹුරුව
04. පෙනී සිටීම
05, හිස සැලීම
06, මුහුණින් අදහස් ප‍්‍රකාශනය
07. අභිනය
08, ඉරියව්
09. අක්ෂි චලනය
10. භාෂා වියුක්ති බව
පුද්ගලයා විසින් ඇතැම් විටෙක සෘජු ප‍්‍රකාශනයට පරව ඉදිරිපත් කරන කරුණු දහයක් පිළිබඳව ද මයිකල් ආර්ගිල් පෙන්වා දෙයි.
01. සම්බන්ධතාව
02. ලිංගික ආකර්ෂණය
03. ප‍්‍රතික්ෂේප කිරීම
04. ආක‍්‍රමණශීලී බව
05. ආධිපත්‍යය
06. යටපත් වීම
07. සමාදානය
08. බිය
09. දුක
10. සතුට
            නිර්වාචික සන්නිවේදනය පිළිබඳව ජනප‍්‍රිය ග‍්‍රන්ථ දෙකක් වන  The Silent Language”  හා  “The Hidden Demention”  රචනා කළ ඇමරිකානු ජාතික මානව විද්‍යාඥයෙකු වන එඞ්වඞ්.ටී.හෝල් නිර්වාචික සන්නිවේදනය යටතේ පරතරය” යන කරුණ ඉදිරිපත් කර ඇත. පුද්ගලයන් අතර තිබෙන පරතරයසංවාද සබඳකම්හැඟීම් හා සංකල්පද පරතරය ද දුර සිට බලන්නෙකුට නිර්වාචිකව සන්නිවේදනය වේ. හෝල් සිය නිරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ අනුව මිනිසුන් එකිනෙකා සමග සන්නිවේදනයෙහි යෙදෙන පරතරය කලාප 04ක් වශයෙන් හඳුනාගෙන ඇත. එනම්,
01. කුළුපග පරතරය
02. පෞද්ගලික පරතරය
03. සමාජීය පරතරය
04. පොදු පරතරය
            මෙහිදී කුළුපග පරතරයක මිනිසුන් එකිනෙකා සමඟ සෘජුව සබඳතා පවත්වති. මෙහිදී එකිනෙකා අතර දුර ප‍්‍රමාණය අඟල් 06-18 ත් අතර වේ. දරුවා සහ මව අතර ඇති පරතරයපෙම්වතුන් අතර ඇති පරතරය කුළුපග පරතරයට නිදසුන්ය. පෞද්ගලික පරතරයේ දී මිනිසුන් අඟල් 06-18 දක්වා ප‍්‍රමාණයක් දුරින් සිටිති. පෞද්ගලික සංවාදයන් හි යෙදෙන අතරතුර තබා ගන්නේ මෙම පරතරයයි. එය අනෙක් පුද්ගලයාගේ ප‍්‍රතික‍්‍රියා දැකීමට තරම් ආසන්න වුවදඔහුගේ හෝ ඇයගේ කුළුපග පරතරයට ඇතුළු වීමට තරම් සමීප නොවේ. සමාජමය පරතරයේ දී මිනිසුන් අඩි 04-12 දක්වා ප‍්‍රමාණයක් දුරින් සිටිති. සමාජීය රැුස්වීම් හා සම්මුඛ පරීක්ෂණසමාජීය පරතරයක අවස්ථා දැක්වෙන උදාහරණ වේ. අඩි 12 කට වැඩි ප‍්‍රමාණයක් පොදු පරතරයේ දී භාවිත කරයි. මෙවන් පරතරයක දී මිනිසුන් වඩා උස් හඩින් කතා කරන අතරඅතිශයෝක්තියෙන් අභිනය දක්වති. මෙම පරතරයේ දී සන්නිවේදනය වඩා විධිමත් වන අතර පුද්ගලයන් ට අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධකම් පැවැත්වීමේ අවස්ථා සීමා කරයි. දේශපාලඥයන් හා පොදු ජනතාව අතර ඇති පරතරය පොදු පරතරයට එක් නිදසුනකි.
                පුද්ගලයා ආශ‍්‍රිතව අභ්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන ක‍්‍රම මෙන්ම පරිසරය ආශ‍්‍රිතව බාහිර වශයෙන් දක්නට ලැබෙන නිර්වාචික සන්නිවේදන ක‍්‍රමයන් ද නිර්වාචික සන්නිවේදනයේ දී වැදගත් වේ. සමස්ත පරිසර පද්ධතියම හුදු නිර්වාචික සන්නිවේදන ජාලයක් වේ . මෙය එක් එක්  රටවල පවත්නා කාලගුණිකදේශගුණිකභූ ගෝලීය හා දේශ සීමා අනුව වෙනස් වේ. ස්වභාදහම අනුව මිනිසා සංජානනය ගොඩනගාගෙන ඇති ආකාරය අනුව නිර්වාචික සන්නිවේදනයේ ස්වරූපයන් ද වෙනස් වේ.
නිර්වාචික සන්නිවේදනය සිදු වන එක් ප‍්‍රධාන අංගයක් ලෙස වර්ණ” දැක්විය හැකිය. කාලයක් සමඟ සමාජය විකාශණය වීමේ දී මෙම වර්ණ වලට විවිධ අර්ථ එකතු වී ඇත.
             සුදු වර්ණය - පිවිතුරු බව
             කළු වර්ණය - විරෝධය පෑම
             රෝස වර්ණය - සියුමැලි බව
             ලා නිල් වර්ණය - වටිනාකම
             ලා කොළ වර්ණය - විචක්ෂණභාවය
             තද නිල් වර්ණය - සමාදානය

            නිර්වාචික සන්නිවේදනය තුළ වැදගත්වන තවත් එක් අංගයක් ලෙස සංඥා දැක්විය හැකිය. සංඥා දිගු කාලයක් පැවතීමේ දී සංකේතයන් බවට පත් වේ. උදාහරණයක් ලෙස මාර්ග සංඥා දැක්විය හැකිය. නිර්වාචික සන්නිවේදනය වාචික සන්නිවේදනයට වඩා ප‍්‍රබල සන්නිවේදන කි‍්‍රයාවලියකි. නිර්වාචික සන්නිවේදනය මsන් සන්නිවේදන ක‍්‍රියාවලිය ඌණ පූරණය කරයි. නිර්වාචික සන්නිවේදනයේ පහසු ඉදිරිපත් කිරීමේ විලාසයආදේශක සන්නිවේදන මාධ්‍යයන් වීමවිශ්වීය අර්ථ ප‍්‍රකාශන ශක්තියඅවධාරණ ශක්තියඅදහස් නැවත ගෙනහැර දැක්වීමනිර්අක්ෂර සමාජයට සන්නිවේදන ක‍්‍රියාවලිය පහසු කිරීමවිශේෂ අවශ්‍යතා ඇති පිරිසට සන්නිවේදනය කිරීමආකර්ෂණීය ඉදිරිපත් කිරීමකාලය ඉතුරු කිරීමක්ෂණික ප‍්‍රකාෂණ විධි ක‍්‍රමයක් වීමයන කරුණු නිර්වාචික සන්නිවේදනය ප‍්‍රබල වීමට හේතු වී ඇත.

Saturday, 6 February 2021

සිහල බසේ ආරම්භය දැනගනිමු..

              සිංහල යනු ශ්‍රී ලාංකික අපගේ ආදරණීය මවු බසයි. ලොව ඇති අනේක විධ වූ සිය ගණනක් භාෂා අතරින් සුන්දරතම භාෂාවයි. ලෝකයේ අක්ෂර මාලාවන් අතරින් දෙවැනියට අලංකාරම අක්ෂර මාලාව හිමි වන්නේ ද අපේ හෙළ බසටයි. ඒ සුන්දර වූ වටකුරු අකුරෙන් ලියවෙන අපේ සිංහල භාෂාවේ ආරම්භය ගැන දැන ගන්නට ඔබත් කැමතිද ?




               සිංහල අක්ෂර ක්‍රමය වඩාත් පෘථුල වූ, විශාල අක්ෂර මාලාවකින් හෙබියකි. සිංහල අක්ෂර ක්‍රමය තුල ශබ්දාක්ෂර 50 කට අධික ප්‍රමාණයක් දකින්නට ඇති නමුත්, අප එදිනෙදා ව්‍යවහාරයේදී භාවිතා කරන්නේ එයින් ශබ්දාක්ෂර 38 ක් පමණ ප්‍රමාණයකි. පුරාණ බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් විකාශණය වී පැවතෙන සිංහල අක්ෂර ක්‍රමය, එයින් පසුව පිළිවෙලින් ග්‍රන්ථ අක්ෂර ක්‍රමය හා පසුව පැමිණි කදම්භ-පල්ලව අක්ෂර ක්‍රමයන්ට නෑකම් කියයි. බ්‍රාහ්මී අක්ෂර යනු පුරාණ සෙල්ලිපි වල භාවිතා වූ අක්ෂර මාලාවයි. එසේම එම බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන්ම විස්තෘත වී පැමිණ ඇති කණ්ණඩ, මලයාලම්, තෙළිඟු, දෙමළ හා දේවනාගරී යන ඉන්දු-ආර්ය අක්ෂර මාලාවන්ට ද සිංහල භාෂාව කිට්ටු සම්බන්ධකම් පෙන්වයි.
  
පැරණිතම සිංහල අක්ෂර මාලාව වූ සිංහල ප්‍රාකෘතයේ පුරාණතම භාවිතාවයන් දක්නට ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස තරම් වූ ඈත යුගයේදීයි. ඒ බුද්ධාගම ලංකාද්වීපයට ලැබීමත් සමගයි. එයින් පසුව පාලි භාෂාව හා ත්‍රිපිටක ධර්මය යන කාරණා ඔස්සේ සිංහල භාෂාව හා අක්ෂර මාලාව විකාශනය වී ඇති බව පෙනී යයි.

සිංහලයේ පරිණාමය පහත පරිදි කොටස් හතරකට බෙදා දැක්විය හැකියි.

සිංහල ප්‍රාකෘතය - ක්‍රි.ව. තුන්වන සියවස වන තෙක්
මූලාකෘත සිංහලය    - ක්‍රි.ව. 3 වන සියවස සිට 7 වන සියවස තෙක්
මධ්‍යතන සිංහලය    - ක්‍රි.ව. 7 වන සියවස සිට 12 වන සියවස තෙක්
නූතන සිංහලය - ක්‍රි.ව. 12 වන සියවස සිට වර්තමානය තෙක්

  
          සිංහල අකුරු මේ තරම් ලස්සන කුමක් නිසා දැයි ඔබ මොහොතක් වත් සිතා තිබේ ද ? සිංහල අකුරු වටකුරු හැඩයට විකාශනය වී ඇත්තේ පුරාතනයේ එය ලේඛණගත කරන ලද සම්ප්‍රදායන්ට අනුගත වෙමින් බව පෙනී යයි. අතීතයේදී සිංහල භාෂාව අක්ෂර ලෙසින් ලේඛණගත වූයේ පදම් කරගත් තල් කොළ මත බව ඔබ දන්නවා ඇති. තල් පත් මත ලිවීමේදී සෘජු රේඛාවන් ඇඳිය නොහැකි වූයේ තල්පත ඉරී යන නිසායි. ඒ නිසා තල් පත් මත ලිවීමේ පහසුව සඳහා සිංහල අක්ෂර මාලාව වටකුරු හැඩයට විකාශනය වී තිබෙන බව පෙනී යයි.

  
            ශ්‍රී ලංකාව තුළ හා එයින් පිටතට සංක්‍රමණය වූ සියල්ලන්ම එක්ව ගත් විට, සිංහල භාෂාව භාවිතා කරන්නේ මිලියන 16 ක් තරම් වන ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ලෝකයේ අනෙකුත් භාෂා හා සසඳා බැලීමේදී මේ අඩු භාවිතාවය නිසා සිංහල භාෂාව අනාගතයේ දී වැනසී යෑමේ අවධානමට මුහුණ දී ඇති භාෂාවකි. ඉතිහාසය ගෙන බැලීමේදී පෙරදී අපටම අනන්‍ය වූ සිංහල ඉලක්කම් ද තිබුණු බව පෙනී යයි. නමුත් 19 වන ශත වර්ෂයේ මුල භාගයේදී පමණ ඉංග්‍රීසි ක්‍රමයට අනුගත වෙමින් අප හින්දු අරාබි ඉලක්කම් භාවිතා කරන්නට ගැනීමත් සමග ඒ අපේ ඉලක්කම් අභාවයට ගොස් තිබේ. එසේම තවත් උදාහරණයක් දක්වතොත්, පෙර යුගයන් හිදී නැවතීමේ ලකුණ ලෙස භාවිතා කරන ලද කුණ්ඩලිය (෴) නම් වූ අක්ෂරය ද මේ වන විට භාවිතයෙන් ඉවත් වී තිබේ.

           අපේ මව් බස වන සිංහලය පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන ආර්ය භාෂාවකින් බිඳී ආවකැයි සැලකේ. එය ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් බසක් බව විද්වත් මතයයි. ඒ අනුව බැලීමේදී සිංහල භාෂාවට සිංහල ජාතිය මෙන්ම දීර්ඝ ඉතිහාසයක් තිබේ. අද අපි භාවිතා කරන ව්‍යවහාරික සිංහල බස ඉන්දියානු ආර්යකරණය නිසා නවීකරණයට ලක්වූවකි. නමුත් ඉන්දු ආර්යයන් ලංකාවට පැමිණීමට පෙර සිට (මහින්දාගමනයට පෙර) අප මුතුන් මිත්තන් හෙළබස නොහොත් යක්ෂ ගෝත්‍රික භාෂාව භාවිතා කර ඇත. අප අදටත් භාවිතා කරන ඔළුව, කට, බඩ ආදී වචන සංස්කෘත හෝ පාලි හෝ වෙනත් එවැනි භාෂාවක දක්නට නොමැති අතර ඒවා හෙළ බසින් පැමිණි ඒවා‍ ලෙස සැලකේ. එමෙන්ම මාල දිවයින් වැසියන් භාවිතා කරන භාෂාව හෙළ බසින් සම්භවය ලබා අරාබි මුස්ලිම් සංස්කෘතියෙන් විස්තෘත වූවක් සේ සැලකිය හැකියි. මේ අනුව පෙනී යන්නේ ප්‍රාග් ‍‍ඓතිහාසික යුගයේ පවා අප දියුණු බසක් භාවිත කර ඇති බවයි. අද ලොව පුරා අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති අන්තර්ජාතික භාෂාව ලෙස සැලකෙන ඉංග්‍රිසිය භාෂාවක් වශයෙන් ගොඩනැගෙන්නට පෙර සිටම අප ජාතිය බසෙන් පොහොසත්ව සිටියෝය.

          ඈත අතීතයේ සිටම ඉතා දියුණු බසක් ලෙස, ප්‍රායෝගිකව භාවිතා කළ සංකීර්ණ අක්ෂර මාලාවක් ලෙස සිංහල භාෂාව හා හෙළ අකුරු බොහෝ දුරක් පැමිණ තිබේ. ලිඛිත භාවිතාවයන් අත්හැර අද්‍යතන ලෝකය ඩිජිටල් යුගයකට අවතීර්ණ වී ඇති අපේ කාලයේ දී මේ ලස්සන, වටකුරු සිංහල අක්ෂර නව ආරකින් ඉදිරියට ගෙන යෑම සඳහා වර්තමානයේ භාවිතා වන්නේ ඩිජිටල් අවකාශයයි. අන්තර්ජාලය තුළ ද, පරිගණක හා ස්මාට් දුරකථන ආදී ජංගම උපාංගයන් හි සිංහල භාවිතය වැඩි දියුණු කිරීම හා ඒ සඳහා දිරි දීම අපගේ මවු භාෂාවට කරන සේවයක් ලෙස සැලකිය හැකියි. ඒ අරමුණ සඵල කරගැනීමට නම්, හැකි සෑම විටම සිංහල භාෂාවෙන් වැඩ කිරීමට ඔබ අප සැම දෙන අධිෂ්ඨාන කර ගත යුතුය.

Sunday, 17 January 2021

සීගිරි අප්සරාවියකට පෙම්බැදි රොඩී පෙම්වතෙක්..




මහා හද්දෙට වයා ගැට බෙර 

උඹව එක්කන් යනවා දැක්කා

පාර අයිනේ දෙවැට අද්දර

අපේ මතකය කදුළු හැළුවා

වාසලේ රජ සුවද වැදුනාම

උඹේ ඇස් වල සිනා පිරුනා

මාත් එක්කලා බැද්දේ පෙම් කල

උඹට නම් රජ උස්නේ දැනුනා ....


කසී සළු පිලි රිදී අභරණ

උඹට හිමි බව නෙතින් දැක්කා

කාටවත් නොකියාම රහසෙන්

උඹ බලන්නට ගලට නැන්ගා

උඹේ රන්වන් ලපටි ලැම යුග

මැණික් වාගේ දුරට පෙනුනා

සත්තමයි මගේ දෑස් පල්ලා

දුකට කදුලක් ගලට වැටුනා ......


උඹේ රෑපෙට වසී වෙන උන්

යසට උඹෙ නිරුවතම වින්දා

රොඩි වුන පව මකා ගන්නට

මමත් අවුකන බුදුන් වැන්නදා

සසර ගානේ උඹත් එක්කම

උන්නු රෑ මගේ දෑසේ මැවුනා

කෝමලී මං උඹේ ගැන කවි

සීගිරියේ කැටපතේ ලිව්වා .....


ඇතාගේ පිට තියාගෙන උඹ

රජා එක්කන් යනවා දැක්කා

දරා ගන්නට බැරිව දෙයියෝ

ටිගොල් කටු මගේ ඇහේ ඇනුනා

ඇදන් කඩමළු ඉද්දි මග තොට

උඹේ රෑ සිරි දුරට පෙනුනා

වසාගෙන ඉදපන් උඹේ විලි

කියලා තනියම හිතින් කිව්වා .....


උඹව එක්කන් එන්න අටවපු

පැල් කොටේටත් රජා පැන්නා

මගේ ඇස් දෙක උගුලලා ඌ

උඹව තනියෙන් බුක්ති වින්දා

රෝස තොල් දෙක හිතම කළඹයි

දකින්නට බැරි වුනත් කිසිදා

ඉතින් රංකද සෙනෙහෙ නාමෙට

මමත් සීගිරි ගලෙන් පැන්නා .....

                    

Saturday, 16 January 2021

රාවණ රජුගේ ගුවන්යානයේ නටඹුන්

           


              ශ්‍රී ලංකාවේ මෙගලිතික යුගය ඉතාමත් දියුණු සංස්කෘතියක් පැවති බව ඒ යුගයට අයත් ශිලාලේඛන, අභිලේඛන, චිත්‍ර හා පුස්කොළ ලිපි ශාස්ත්‍රීය පර්යෙෂණයකට භාජනය කරන විට පෙනී යන සත්‍යය කරුණකි.

          රාවණ යුගයේ හෙළදිව ගුවන් යානා පමණක් නොව මිසයිල් පරමාණු, ජලකර ආදිය පවා තිබුණු බවට අපමණ සාක්ෂි හා තොරතුරු අප රටේ මෙන්ම ඉන්දියාව, එංගලන්තය, ග්‍රීසිය ආදී රටවල පුස්තකාලවලද ඇත. පසුගිය කාළය තුළ අප රටේ ඇතිවු සුනාමිය වැනි උදම් රළ නිර්මාණය කළ හැකි බෝම්බ වර්ග පිළිබඳවද මහා භාරත කාව්‍ය වැනි සම්භාව්‍ය ග්‍රන්ථ වල සදහන් වී තිබෙන්නේ නිකමට නොවේ.
               රාවණ යුගයේ ගුවන් යානා පිළිබඳව ප්‍රථම වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍ය යැයි පැවැසීම සාධාරණය.
              'පුෂ්පක' නම්න් ගුවන් යානයක් රාවණ රජුට තිබුණු බව රාමායණය ප්‍රමුඛ තවත් පොත් පත් රැසක සදහන් වී ඇත.මෙම 'පුෂ්පක' ගුවන් යානයට අප බොහෝ දෙනෙකු කීවේ 'ඳඬු මොනරය' යනුවෙනි. පුෂ්පක ගුවන් යානයට ඳඩු මොනරය යන නාමය ලැබුණේ ඇයිදැයි ප්‍රශ්නයකි. රාවණ කතා නමැති ඉපැරැණි පුස්කොළ ග්‍රන්ථය අනූව පෙනී යන්නේ සිත් ඇදගන්නා කරුණකි.. එනම් හිමාලය කන්දේ උතුරු දෙසට ගව් හතක් ගිය විට 'මයුර දණ්ඩ' වෘක්ෂයන්ගෙන් පිරී ඇති වන පෙදෙසත් ඇති බවත්,එම මයුර දණ්ඩ ලී ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කරන බවත්ය.ඉතා ශක්තිමත් වූ මෙම ලී  වර්ගය කැඩෙන්නෙ බිඳෙන්නේ නැත.එහෙත් එය ඉතා සැහැල්ලු ලී වර්ගයකි.මෙම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසාත්, මොනරුන් බෙහෙවින් මෙම ගස ආශ්‍රිතව ජීවත් වන නිසාත්, එය මදුර දණ්ඩ යනුවෙන් හදුන්වන බවත් 'රාවණ කතා' පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන බව අචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
                       රාවණ යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් යානා වර්ග රැසක් අපරට තුළ තිබුණු බවට සාක්ෂි ඇත. 'විමන්' නමින් විශාල ගුවන් යානාද 'බිමන්' නමින් Glider වර්ගයේ කුඩා ගුවන් යානාද,  පාපැදි, අහස් යානා, ගිරි මුදුන් වල සිට පහළට බසින යානා, කන්දන සිට තවත් කන්දකට ගමන් කළ හැකි ඕතධඡඩ යානා අප රට තුළ ඇත. එදා මෙදා ගුවන් යානා වල වෙනස නම් මෙගලිතික ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්‍රීයා කිරීමත්, වත්මන් ගුවන් යානා ,සුපිරි යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රීයා කිරීමත්ය.
                   සුළං බලශක්තියෙන් ක්‍රියා කරන 'විමන්' සහ 'බිමන්' පණ ගන්වන්නේ පා පැදියක් මෙනි. එහි බඹර කිහිපයක් වී කැරකැවීමත් සමඟම 'විමන්' ක්‍රමානුකූලව ඉහලට ගමන් කරයි. යා යුතු දිසාව ,ගමන් කල යුතු උස ප්‍රමාණය, නැවැත්වීම, බිමට බැසීම ආදී කටයුතු සියල්ල නියමුවා විසින් කල හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිමිකළ උපකරණවලින් යුත් ඉතා සැහැල්ලු යන්ත්‍රයක් එයට ඇත. වාරියපොළ නමැති ග්‍රාම නාම රැසක්ද අද දක්වා අප අතර තිබෙන්නේ සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවු ගුවන් පථ නිසා බව යැයි ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි.
         අප රටේ ඇතැම් සෙල්ලිපිවල මේ ගුවන් යානා චිත්‍ර ඇති අතර, ගුවන් නියමුවන් විසින් කරන ලද ප්‍රදාන සඳහන් සෙල්ලිපි රැසක්ද තිබීමෙන් පෙනී යන්නේ අපට දියුණු ගුවන් සේවයක් එදා තිබුණු බවයි. ඒ කාලයේ ගුවන් නියමුවන් හැදින්වූයේ 'දූතක'යන නාමයෙනි. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ ස්ථානයක එම ගුවන් යානා තොටුපළක් තිබෙන බව ඉතිහාස ගවේෂක භද්‍රා මාරපන පවසා ඇති බව ආචාර්ය ඔබේසේකර සඳහන් කරයි.

               කාලගිරි හෙවත් වත්මන් තොප්පිගල ප්‍රෙද්ශයේද'බිමන්' නමැති කුඩා ගුවන් යානා සඳහා ගුවන් පථයක් තිබී ඇත."පරමුක ශූර පුත පරමුක බිමණ දතකහ දතකහ ගගස" යනුවෙන් අපේ පැරණි සෙල්ලිපියක් ඇත.එම සෙල්ලිපියේ ගුවන් යානා සමාගමේ ලාංඡනය සහ ගුවන් නැවක චිත්‍රය කළු ගලේ කොටා ඇත.
                 මිසරය,බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් චිත්‍ර ගත කර ඇත. ඒ කාලයේ හෙලදිවෙන් මිසරයට, බැබිලෝනියාවට ගිය යක්ෂ ගෝත්‍රික ඉංජිනේරුවන් විසින් මෙම පිරමීඩ ගොඩනඟනු ලැබ ඇති බවත ඔවුන් පැමිණ 'බිමන්' නමැති ගුවන් යානාවල චිත්‍ර ඒවා විය හැකි බවත් විද්වතුන්ගේ අදහසකි.
                    රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව 'අපේ හෙළ සිංහල ඉතිහාසය,පිටු අංක 8' කියයි. තමා පෞද්ගලිකව ඒ පිළිබඳව සොයා බැලු නමුදු ඒ සුන්බුන් සොයා ගැනීමට අපොහොසත් වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කීය. ලග්ගල කන්දේ ගිරි ශීඛරයක් මත ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇත. නිදන් හොරුන්ගෙන් එම ස්ථානයට විනාශයක් ඇති විය හැකි බැවින් එහි විස්තර හෙළි නොකරන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර පවසයි.
                            ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ  මහදූවද මෙගලිතික යුගයේ වාරියපොළක් විය හැකි බව මහාචාර්ය ශ්‍රී වාත්සව ප්‍රකාශ කළේ 1982 මැයි 31 වැනිදා කරන ලද  සංචාරයේදීය්ර. කරදෙගල කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකිය. 
රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාර පිණිස බෙහෙත් ඖෂධ රැගත් 'විමන්' යානයක් රූමස්සල කඳු මුදුනේ ගිරිකුළක ගැටී උනා වැටුනු ප්‍රදේශය වත්මන් උනවටුන ග්‍රාමය බව පැවසේ. 
                     මෙම 'විමන්' යානය නාග ගොත්‍රිකයන්ට අයත් වූවක් යැයිද විභිෂණගේ බලපෑම නිසා නාග ගොත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත්,එම 'විමන්' යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය 'නා විමන'වී ඇතැයි එම ලිපිය කියයි.රාම-රාවණ යුද්ධයෙන් හෙළ දිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

බිම් කොට ගිං තොට දක්වා          බලැ'ති
භීම රජ 'විමන' නවතා තිබූ          නොදැනි
මහ දූවේ තැන්න 'වාරියපොළ'     නමැති
ජනපදයක් කළා දෙවි පතිරජ       ඇමැති 


                         දැනට අවුරුදු 40කට පමණ පෙර දක්ෂිණ ලංකාවේ අග්‍රගණයේ පඬිවරයෙකු වූ ජෝන් සිරිමන් ද සොයිසා මහදූව ගැන කියවී ඇති මෙම ජනකවිය තමාට විස්තර කළ බව පවසන ආචාර්ය ඔබේසේකර එය කොතරම් සත්‍යදැයි සදහන් කරයි.
                            මෙගලිතික යුගයේ යක්ෂ ගොත්‍රික පාලකයකු වූ භීම රජතුමාගේ ගුවන් විමනකට මාදූවේ ගුවන් තොටක් වූ බවත්, භීම රජ මැඳුර පිහිටා තිබුණේ බලපිටියේ මහල දූවේ බවත්, සිරිමන් ද සොයිසා තමාට පැවැසු බවත්, ආචාර්ය ඔබේසෙකර කියයි. මේ අනුව විමසා බලන විට කුඩා ගුවන් යානා මෙන්ම විශාල ගුවන් යානාද සිව් ‍හෙළ පාලන යුගයේ හෙළදිව තිබුණු බවත්,ගුවන් යානා ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ යුරෝපයේ රයිට්  සහෝදරයන්ට නොව ශ්‍රී ලංකාවේ ආදිවාසී හෙළයන්ට බවත් ආචාර්ය ඔබේසේකරයන්ගේ මතයයි.
                                                   සූර්ය බලශක්තියෙන් ක්‍රියා කළ 'තීරු' නමැති ගුවන් යානා නැගෙනහිර පළාතේ පානම තිබුණු බව රාවණා කතා පුස්කොළ ග්‍රන්ථයේ සදහන්  වේ.ඉන්ද්‍රජිත් රාවණ රජුගේ යුද දක්ෂ පුත්‍රයාය. මොහු සහස්‍රගත නම් යුධෝපකරණය සහිත යානයෙන් අහසේ සිට යුද්ධ කළ අයුරු ඉන්දීය ඉතිහාසයෙහි සඳහන්ය. මොහු විසින් කරන ලද ගුවන් රථවල ඡායාරූප ඉන්දීය සඟරාවක ප
වා පළවී තිබිණ. මේ අන්දමට රාවණ යානයේ බොහෝ තතු මූලාශ්‍රයන් ඉතාමත් අපූර්ව අන්දමින් ඉදිරිපත් කරයි.

ජනමාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය

    ස්තී‍්‍ර-පුරුෂ සමාජ භාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර...