Sunday, 18 October 2020

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ පශ්චාත්නූතන තත්වය

           


         ශ්‍රී ලංකාවේ අර්ධ පශ්චාත්නූතන තත්වයක් වර්ධනය වෙමින් පවතින බව සනාථ කිරීමට සාක්ෂයක් සේ ජනමාධ්‍ය වල ක්‍රියාකාරිත්වයද උපයෝගී කොටගත හැකිය.

          වර්තමානයේ ජනමාධ්‍ය සතුව පවතින අසීමිත බලතල පිළිබද විමර්ශන කරන්නෙකුට නැගෙනු ඇත්තේ රාජ්‍ය තන්ත්‍රය ඉක්මවා යන්නට තරම් ඒවා ප්‍රභල බවය. එහෙත් මෙවැනි බලයක් හැම මොහොතකම ජනමාධ්‍ය සතු නොවේ. යම් සුවිශේෂ අවස්ථා වලදී  ජනමාධ්‍ය රටේ ආණ්ඩුව ඉක්මවා යන නමුදු එය ස්ථිතික තත්වයක් නොවේ.අතීතයේදී ලංකාවේ වැදගත් ම අමාත්‍යාංශ ලෙස සැලකුණේ ආරක්ෂක, මුදල්, නීති හා රාජ්‍ය පරිපාලනය යන විෂයන්ට අයත් අමාත්‍යාංශයන්‍ ය.නීති පාලනය හා මුදල් වැනි අමාත්‍යාංශ සතුව තිබූ හෙජමොනිය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත සංක්‍රමණය වීම මේ යුගයේදී වූ විශාල පරිවර්තනයකි.

            2003දී ජනාධිපතිනිය විසින් පවරා ගත් අමාත්‍යාංශ දෙකෙන් එකක් ජනමාධ්‍ය වීම ගැන ද අපගේ අවධානය යොමු විය යුතුය. ඇය විසින් පවරා ගන්නා ලද අනෙක් කටයුතු වූයේ ආරක්ෂක කටයුතු ය. රටේ ආරක්ෂාව තරමටම හෝ ඊටත් වැඩියෙන් ජනමාධ්‍ය වැදගත් බව ඇය වටහා ගෙන තිබුණි.මෙලෙස කිසියම් ආකාරයක සුවිශේෂ බලයක් ජනමාධ්‍යයට ලැබුණේ කෙසේද යන්න පිළිතුරු දිය යුත්තේ 1977 දේශපාලන විපර්යාසයෙන් පටන් ගනිමිනි.

             70 දශකයේ අවසාන කාලයේදී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වූ බවත් ඊට මූලික හේතුව ප්‍රාග්ධනයේ සෘජු මැදිහත්වීම බවත් ඇතැම් විද්වතුන්ගේ මතයයි. කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසන ආකාරයට මෙය සුසමාදර්ශ විතැන්වීමකි. කලින් මාධ්‍ය යොදාගනු ලැබුවේ මහජන සේවාවක් ලෙසටය. එහෙත් විවෘත ආර්ථිකය හදුන්වා දීමත් සමග මේ තත්වය වෙනස් විය. 1970 දශකයේ අවසානයේ සිට මාධ්‍ය කටයුතු කරන්නේ වෙළඳ ජයග්‍රහණය තම මූලික අරමුණ කර ගෙනය.

මාධ්‍ය වෙත බලය විස්ථාපනය වීම

           දේශපාලකයා සතු බලය මාධ්‍ය වෙත විස්ථාපනය වන්නේ පශ්චාත්නූතන තත්වයකදීය. අප කලින්ද විස්තර කල පරිදි මෙය පූර්ණ බල විස්තාපනයක් නොවේ. එය කොතරම් සුලුවෙන් සිදු වේවිද කියතොත් ඇතැම් අවස්තාවල එය අවිද්‍යමානය. මොහොතක එය ඉතා ප්‍රබලය.කලක් අක්‍රියව පැවැති න්‍යෂ්ටික රසායනයක් හදිසි ප්‍රතික්‍රියාවකට නතුව අධි ප්‍රතික්‍රියශීලිත්වයක් පෙන්නුම් කරනා සේ ඇතැම් මොහොතක මාධ්‍ය දේශපාලකයා මතු නොව මුලු මහත් රාජ්‍ය ම අභිබවා නැගී සිටියි. මෙය සරල නිදසුනකින් පෙන්වා දිය හැකිය. 2004 ජූලි මස 07 වැනිදා රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් අප්සරා අතපත්තු නැමැති කාන්තාවක් අපූර්ව ප්‍රකාශයක් ඉදිරිපත් කළාය."මට එක්තරා දේශපාලානඥයකුගෙන් මරණීය තර්ජන තිබෙනවා. ඉහළ තැන්වලින් මට ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මං මේ කතාව මාධ්‍යයට කියනවා."

                මේ ප්‍රකාශයෙන් ඇය ඇඟවූයේ තමාට රජය තුල පවතින කිසිදු පද්ධතියකින්  (මාධ්‍ය හැර) පිහිටක් නොලැබෙන බවය. එය කෙතරම් බරපතල ප්‍රකාශයක් ද?

                ජනතාවට ආරක්ෂාව සැලාසීමේ බලය මාධ්‍ය සතු දැයි යන්න ගැටලුවකි. එය එසේ වෙතත් අතපත්තු විසින් කරන ලද ප්‍රකාශය (තමාට පිහිට ලැබෙන්නේ මාධ්‍ය මගින් පමණක් යන්න) ඉතා වැදගත් එකකි. මන්දයත් මෙවැනි විශ්වාස සිත්හි දරා ගෙන සිටින සැලකිය යුතු පිරිසක් ලංකාවේ ජීවත් වෙති.

        ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත බලය විස්ථාපනය වූ ඓතිහාසික අවස්ථාවක් වන්නේ 2004 සුනාමි ඛේදවාචකය යි.

        සුනාමි විපත ඇති වීවත් සමග ම මෙරට ජනමාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් ඉතා කඩිනම් ප්‍රතිචාරයක්  දැක් වූ බව හැම දෙන පිළිගන්නා කරුණකි. කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ සිට ධීවර සංස්ථාව දක්වා වූ රාජ්‍ය යාන්ත්‍රණය ම නිවාඩු සුව විදිමින් සිට නිද්‍රෝපගත හෝරාවක් සිය ආගමනය සඳහා  සුනාමිය විසින් තෝරා ගෙන තිබීම නිසා ජනමාඩධ්‍ය‍යේ මැදිහත්වීම සුවිශේෂ ලෙස ඉස්මතු විය.

ජනමාධ්‍ය විසින් අප ජීවිත මත පතුරවන ලබන ආධිපත්‍යය කෙබඳු දැයි වටහා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය.

අපේ ජනමාධ්‍යයේ කාර්යභාරය කුමක්ද?

            ජනමාධ්‍යවලට අදාළව පැවැති කාර්‍යභාරය වූයේ සමාජයට සත්‍යය ප්‍රකාශ කිරීමය.එමෙන්ම ජනතාවට දැනුම හා වින්දනය ලබා දීමද ජනමාධ්‍ය වෙතින් අපේක්ෂා කෙරිණි.මීට දශක දෙකකට තුනකට පෙර ගුවන්විදුලියෙන් කී ප්‍රවෘත්ති කෙරෙහි ජනතාවගේ තිබුණේ ලොකු විශ්වාසයකි.කුමන රජය පැවතියත් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා කවුරුන් වුවත් මිනිසුන් ඒ ගැන නොසලකා එම ප්‍රවෘත්ති විශ්වාසය කළහ.අද ජනතාව යම් පප්‍රවෘත්තියක් තහවුරු කරගන්නේ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා කීපයකටම සවන්දීමෙන් පසුවය.

            අතීත ගුවන්විදුලියේ බුද්ධිමය සංවාද ස්ම්ප්‍රේෂණය කළ වැඩසටහන් රැසක් වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.එහෙත් අද වෙනසක් නැතිව හැම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවක්ම මුදල් ඉපයීමට පමණක් වැඩසටහන් ගෙන එන තැන් බවට පත්ව තිබේ.පශ්චාත්නූතන තත්වයකදී ජනමාධ්‍ය යනු බුද්ධිමය සංවාද සම්ප්‍රේෂණය කරන්නක් නොව පාරිභෝගික සේවා සපයන අවකාශයකි.


            මේ තර්කය අනුව ලංකාවේ පවතින්නේ පශ්චාත්නූතන තත්වයක් බව ඉතා පහසුවෙන් පැහැදිලි කර දිය හැකිය.මක්නිසාද යත් ලංකාවේ ජනමාධ්‍ය සියල්ල ම අද බුද්ධිමය සංවාද සම්ප්‍රේෂණයණයෙන් බැහැරව පාරිභෝගික සේවා සැපයීමට නැඹුරුව සිටින හෙයිනි.අද ජනමාධ්‍ය වලට වුවමනා බුද්ධිමය සංවාද ගෙන ඒමට නොව තම ගුවන් කාලයේ හෝ මුද්‍රිත අවකාශයේ හෝ  වටිනාකම වැඩිකර ගැනීමට ය.

          විශේෂයෙන්ම තම ගුවන් කාලය වැඩි පිරිසක් පරිහරණය කරනු දැකීම රූපවාහිනී නාලිකා හිමිකරුවන්ගේ සිහිනයයි.ඒ සදහා ඔවුහු විවිධ උපක්‍රම යොදති.

                   උදා - අඩනිරුවත් දර්ශන හෝ නිරුවත් දර්ශන හෝ ඇතුළත් කිරීම ඉන් එක් උපක්‍රමයකි.

            අද රූපවාහිනී නාලිකා බොහොමයක් මගින් ඉදිරිපත් කෙරෙන බටහිර හා හින්දි ගීත වැඩසටහන්ව්වවල සැබෑ අරමුණ ගීත රසය ලබාදීම නොව අඩනිරුවත් ස්ත්‍රී රූප ප්‍රදර්ශනය මගින් පිරිමින් ඒ කෙරෙහි ආකර්ෂණය කරගැනීය.අද ඇතැම් රූපවාහිනී නාලිකාවල ස්ත්‍රී නිරුවත පූර්ණ වශයෙන් පෙන්වන බව රහසක් නොවේ.

            ජනතාවගේ බුද්ධියට් අමතන වැඩසටහන් අද රූපවාහිනී නාලිකාවල දැකිය නොහැකි තරම්ය.සංවාද වැඩසටහන් කීපයක් නාමිකව පැවතුනද ඒ සියල්ල මාධ්‍ය නාලිකාව හිමිකරුගේ අවශ්‍යතා සදහා විශේෂයෙන් නිර්මාණය කෙරුණු ඒවාය.එම වැඩසටහන් මගින් කෙරෙනුයේ නාලිකාවට අවශ්‍ය දේ මිස ජනතාවට අවශ්‍ය දේ නොවේ.

            අද ජනමාධ්‍ය කටයුතු කරන්නේ තම හාම්පුතුන්ගේ අවශ්‍යතා හේතුවෙනි.අද ලංකාවේ ජනජනමාධ්‍යවේදීන්ට ප්‍රධාන අරමුණු 02ක් තිබේ.

               1. හිමිකරු සතුටට පත් කිරීමයි.

(එනම් ප්‍රධානියා උදව් දෙන දේශපාලන පක්ෂය වර්ණනා කිරීම ආදිය මීට ඇතුළත් වේ.)

               2. කුමන කමයකින් හෝ ලාබ ලැබීමයි.

(ලාබ ලැබීම වෙනුවෙන් ඕනෑම දුෂ්ට ක්‍රමයක් යොදාගැනීමට සූදානම් වෙළෙන්දන් ලංකාවේ ජනමාධ්‍ය වලට අවතීර්ණ වී සිටින බව පැහැදිලි ය.)

            2003දී රූපවාහිනී සභාපතිවරයා වී සිටි ධම්මික ගංගනාත් දිසානායක රූපවාහිනී වැඩසටහන් ගැන මෙසේ පවසයි."අපේ වැඩසටහන්වල ගුණාත්මක බව ව්ඩු වෙන්න පුලුවන්.නමුත් එම ආයතන පවත්වාගෙන යන්න මුදල් උවමනායි.පුවත්වල වැඩිපුරම අපරාධ තියෙනවා.මිනිස්සු වැඩිපුර ඒවට කැමතියි."මෙතුමා ඉතා වගකීමෙන් පවසන්නේ මුදල් අවශ්‍යතාව වෙනුවෙන් ගුණාත්මක භාවයෙන් අඩු වැඩසටහන් පවා ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.රජයේ ජනමාධය්‍ය වල පවා සිදු වන්නේ මුදක් හබා යන වෙළදාමක් බව ස්ඵුට කිරිමට මෙය කදිම සාක්ෂියකි.

            පුද්ගලික මෙන්ම රජයේ රූපවාහිනී නාලිකාවලද බලධාරීන් විකෘති කාමයෙන් පෙලෙන පිරිසක් බවට චෝදනා එල්ල වන්නේ ඒවායේ ප්‍රචාරය වන වැඩසටහන් හේතුකොට ගෙන කලකට ඉහතදී රූපවාහිනියේ නිවේදිකාවන්ට තම කලවා පෙනෙන සේ කොට ගවුම් අදින්නට විධාන ලැබී තිබූ බව කියැවේ.මේ හැම දෙයක්ම සිදු වූයේ වෙළදපොළ අරමුණු කරගෙන බව පැහැදිලිය.

            පශ්චාත්නූතනවාදීන් සත්‍ය සම්බන්ධයෙන් දරණ ආකල්පය අපේ මාධ්‍ය පිළිවෙත සමග සම්බන්ධ වන්නේ කුමන ආකාරයටඩ දැයි විමසා බැලීම වැදගත්ය.ඒකීය වුවත් විශ්වීය වුවත් පරම සතය්‍යක් නැතැයි යන්න පශ්චාත් නූතන විශ්වාසයකි.එකී කරුණට අනුව නම් අපගේ මාධ්‍ය සියයට සියයක්ම පශ්චාත් නූතනවාදී බව පෙනේ.ද ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සත්‍ය ප්‍රකාශ කරන්නට උනන්දු වන බව බැලූ බැල්මට පෙනේ.එහෙත් විවිධ මාධ්‍ය එකම කරුණ ගැන පරස්පර විරෝධී තොරතුරු එකම දවස තුළ ඉදිරිපත් කරයි.මේ මාධ්‍ය වලට අවශ්‍ය වන්නේ වැඩි පිරිසක් අතර ජනප්‍රියත්වයක් දිනාගත හැකි සත්‍ය ප්‍රචාරය කිරීමටය.මෙහිදී ඔවුනට තරගයකට මුහුණ දීමට සිදු වේ.

            එවිට කළ යුත්තේ සත්‍යය වඩාත් ආකර්ෂණීය ලෙස ප්‍රචාරය කිරීමය.මෙසේ සත්‍ය‍යන් රැසක් ඇති විට කුමන සත්‍ය ප්‍රකාශ කරනවාද යන්න තීරණය වන්නේ වෙළදපොළ මුල් කරගෙනය.

                    උදා - 2004 දෙසැම්බර් 26 හටගත් සුනාමි තත්වයේදී මාධ්‍ය ක්‍රියාකළ ආකාරය 

            ඉරුදින රාවය වැනි විකල්ප පුවත්පත් විසින් මෙන්ම ඇතැම් ජාතික පුවත්පත් විසින්ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සාක්ෂ්‍ය සහිතව පෙන්වා දෙන ලදී.එහෙත් රජයේ ඇතැම් මාධ්‍ය හා ඇතැම් ජාතික පුවත්පත් සාක්ෂි ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ එම ආයතනය දෙපාර්තමේන්තුව සද්භාවයෙන් යුතුව කටයුතු කර ඇති බවයි.අද ලංකාවේ මාධ්‍ය වලින් ඉදිරිපත් කෙරෙන වැඩසටහන් වලින්ද මෙහි පවතින පශ්චාත්නූතන තත්වය ඉස්මතු වී පෙනේ.

            වර්තමාන ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා බහුතරයක නිවේදක නිවේදිකාවන් භාවිතා කරන භාෂාව ගැන පළමුව අවධානය යොමු කළ යුතුය.ඔවුන් කතා කරන වචනවලින් හරි අඩකටත් වඩා ඉංග්‍රීසි වචන වේ.සිංහලෙන් පාඨකයා අමතන අතර තැනින් තැනින් ඉංග්‍රීසි වචන යෙදීම ඔවුන්ගේ වැඩසටහන්වල මෝස්තරයක් බවට පත් වී ඇත.

            සිංහල වචන භාවිතයේදී පවා කිසිදු ප්‍රමිතියක් නිමැතිව ඒවා යොදාගන්නා බව පෙනේ.ඉතාමත් ග්‍රාම්‍ය දෙපිට කැපෙන වචන හා ඇතැම් විට අසභ්‍ය වචන පවා භාවිත කිරීමට මේ අය නොපැකිලෙති.මෙහිදී ඉදිරිපත් වන්නේ සංස්කෘතියේ සීමා මායිම් වියැකී යාමේ තත්වයයි.එනම් උසස් පහත් භේදය අතුරුදහන් වීමයි.බොහෝ විචාරකයින්ගේ නිර්දය විවේචනයට ලක්ව තිබෙන විද්යුත් මාධ්‍ය වැඩසටහන් විශේෂයක් වන්නේ සිංදු ඉල්ලීම්‍ වේ.කලින් සිංදු ඉල්ලනු ලැබුවේ දුරකතනයෙන් හා තැපැල් පත් මගිනි.දැන් ඉලෙක්ට්‍රෝනික තැපෑල, ජංගම දුරකතන, කෙටි පණිවිඩ යැවිම හා ෆැක්ස් මගින් ද හැකි වී තිබේ.

            මේ සිංදු ඉල්ලීමේ වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන විවිධ චෝදනා එල්ල වේ.2003 ගංවතුර සමයේදී එක්තරා ගුවන්විදුලි නාලිකාවකින් තරුණියක් ගීතයක් ඉල්ලුවාය.එවිට එම වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදිකාව ගීතය ඇසීමට හවුල් කරගන්නේ කවුරුන්දැයි විමසුවාය."විශේෂයෙන් කවුරුත් නැහැ.ගංවතුරට යට වෙලා ඉන්න අය මේ ගීතයට එකතු කරගනිමු."කියා තරිය පිළිතුරු දුන්නාය.එවිට නිවේදිකාව මෙසේ කීවාය."ඔව් ගංවතුරට යට වෙල ඉන්න අයටත් තියෙන්න ඕනි විනෝදයක්.ඒ අයත් ඒ නිසා සම්බන්ධ කරගෙන මේ ගිතය අසමු."මෙවැනි සිදුවීම්වලින් පෙනෙන්නේ කුමක්ද?? සමාජ ඛේදවාචකයක්.විපතක් ලෙස දකින්නට නොව හීතයක් හෝ චිත්‍රපටයක් ලෙස හෝ රස විදින්නට ව්පේ නව ජනමාධ්‍යවේදීන් පුරුදුව සිටින බවය.ජනමාධ්‍යවේදීහු මේ දේවල් තමන පමණක් රසවිදිමින් සිටින්නට කැමති නොවෙති.ඔවුහු මේවා බලෙන්ම රසිකයාට පුරුදු කරති.ඉන්පසු හැම දෙනෙකුම විපතක් දෙස බලන්නේ රසවිදිය හැකි දෙයක දෙස බලන ආකාරයෙනි.

            ලංකාවේ එෆ්.එම් නාලිකාවල පැවැත්ම රදා පවතින්නේ ලිංගිකත්වය හා අවිචාර බස් වහර මත බව 2005 මාධ්‍ය අමාත්‍යංශ සමීක්ෂණ වාර්තාව පවසයි.මේ නාලිකාවලින් ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්ති විකාශ කෙරෙහිද සමීක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.සමීක්ෂණ වාර්තාව අනුව එෆ්.එම් නාලිකාවලින් ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්ති අවුල්සහගතය.විශ්වාසනීයත්වයකින් තොරය.කතාන්දර ශෙලියකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමද සමීක්ෂණ වාර්තාවෙන් දෝෂ දර්ශනයට ලක්වේ.

            විද්‍යුත් මාධ්‍යවල පමණක් වල නොව මුද්‍රිත මාධ්‍යවල ද අපට  පශ්චාත්නූතන ලක්ෂණ රැගත් නිර්මාණ දැකිය හැකිවේ. අතීතයේ පුවත්පත් හොඳ හා නරක ලෙස (තවත් විදියකට කියතොත් සභ්‍ය හා අසභ්‍ය ලෙස) වර්ග කළ හැකිව තිබුණි. ඒ අනුව සිළුමිණ, දිනමිණ, ලංකාදීප, දිවයින වැනි ඒවා සභ්‍ය පුවත්පත්ය. නවසරණ, සීදේවි, සොඳුර ආදිය (1994-2002 අතර පළවූ) අසභ්‍ය පුවත්පත්‍ ය. එහෙත් දැන් බිහිවන ඇතැම් පුවත්පත් මේ සභ්‍ය අසභ්‍ය සීමා මායිම් බොඳ කරයි. ඊට නිදසුනක් ලෙස සෙනුරි යනුවෙන් හැඳින්වෙන පුවත්පත් ඉදිරිපත් කල හැකිය. එය පුවත්පතක් වශයෙන් ශ්‍රි ලංකා ජනරජයේ ලියාපදිංචි කර ඇති බව මුල් පිටුවේම සඳහන් වෙයි. සෙනුරි හි උද්යෝග පාඨය මෙවැන්නකි. "ආදරයේ අනන්තයට සෙනුරි..."

            විනෝදයෙන් හා වින්දනයෙන් සපිරි නවතම මගක් ගත් ලංකාවේ එකම කාන්තා පුවත් පත ලෙස මුල් පිටුවේ හැඳින්වීමක් ද ඇත. සතිපතා ඉරිදා දිනවල නිකුත් වන මේ පත්තරයේ මුල් පිටුව සැරසෙන්නේ දේශීය හා විදේශීය හෝ කාන්තා රුවකිනි. මුල් පිටුවේ කවරය හැම විටම සභ්‍ය චායාරූපයකින් සරසා තිබේ. පිටු 24 කින් සමන්විත මේ පුවත්පතේ ලිංගික තොරතුරු රැගත් කතා 5ක් පමණ පළවේ. ඒ කතා සමග අඩනිරුවත් ඡායාරූප ද පළවේ. සං‍යමයකින් තොරව ඉතාමත් අසභ්‍ය භාෂාවකින් ලියැවුණ කතා මේ අතර වේ. එම කතා අසභ්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වනු ලැබූ සිදේවි වැනි පුවත්පත් වල පළවූ කතාවලට සර්වසම වූ ඒවාය. විෂමලිංගික ක්‍රියා මෙන්ම සමලිංගික ක්‍රියා ද අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම මේ කතාවලදී සිදුවේ. 

                        උදා: සෙනුරි 2014 16 කලාපයේ 11 පිටුව හා 16 කලාපයේ 15 පිටුව

 එහෙත් එවැනි අසභ්‍ය විස්තර රැගත් කතා සමඟ දිවයිනේ ප්‍රකට කීර්තිමත් වෛද්‍යවරුන්ගේ හා වෙනත් විද්වතුන්ගේ ලිපි ද පලවේ. නිදසුනක් ලෙස සෙනුරි 20 කලාපයේ 14 වන පිටුවේ "ගැබිණී වාට්ටුව" නමින් ලිපියක් ප්‍රකට වෛද්‍යවරයකු ලියන විට 13 වන පිටුවේ පළවන්නේ තරණීයක් ලිංගික අත්දැකීමකි. එම ලේඛකයා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු පමණක් නොව දිගු කලක් තිස්සේ ජනමාධ්‍ය මගින් ජනතාවට උපදෙස් ලබා දුන් සන්නිවේදකයෙක් ද වේ. පෙර යුගයේ පළ වූ නවසරණ වනි අසභ්‍ය පුවත්පත්වල මෙවැනි ශාස්ත්‍රිය මට්ටමේ වෛද්‍ය ලිපි පළ වූයේ නැත.ඒවායේ වූයේ කිසියම් ලිංගික කරුනක් පිළිබඳ ව්‍යජ නමකින් පෙනී සිටින කෙනෙකු විසින් ලියන ලද බොරු උපදෙස් මාලාවකි. කිර්තිධර වෛද්‍යවරු එවැනි පුවත්පත්වලට ලිපි නො සැපවූහ. එහෙත් ඒ තත්ත්වය දැන් වෙනස් ව ගොසිනි.

            ඉතාමත් අසභ්‍ය කතා හා ඡායාරූප එහා පිටුවේ පළවෙන විට මෙහා පිටුවේ කීර්තිමත්  වෛද්‍යවරුන්ගේ ලිපි පළවේ.එපමණක් නොව දේශපාලනික තීරු ලිපිත් පළ වේ.කැසුවල් ටෝක් හා කින් ඩොට් කොම් ඊට නිදසුන්‍ වේ.කින් ඩොට් කොම්හි විස්තර කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයයි.සෙනුරි 20 කලාපයේ කින් ඩොට් කොම් තීරු ලිපියේ කියවෙන්නේ සන්ධානයේ බිහිවීම ගැනය.මෙසේ සෙනුරිහි ඉතාමත් අසභ්‍ය දේ මෙන්ම ශාස්ත්‍රීය හා සමාජ දේශපාලනික තොරතුරු ද ඇතුළත් වේ.එනම් මෙහිදී සිදුව ඇත්තේ උසස් පහත් භේදය අතුරුදහන් වීමයි.එය පශ්චාත්නූතන ලක්ෂණයකි.

                එහෙත් ලංකාවේ ජනමාධ්‍ය‍යේ පවා දක්නට ඇත්තේ පූර්ණ පශ්චාත්නූතන තත්වයක් නොව අර්ධ තත්වයකි.ධනවාදී රටවල භාවිතා වන ඇතැම් තාක්ෂණික මෙවලම් හා ක්‍රමවිධි තවමත් ලංකාවේ ජනමාධ්‍යවලට හිමිව නැතිවීම ඊට හේතුවයි.

 













































 

 

16 comments:

ජනමාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය

    ස්තී‍්‍ර-පුරුෂ සමාජ භාවය යන්නෙන් කාන්තාව සහ පිරිමියා පිළිබඳවත් ඔවුන් අතර ඇති සමාජයීය සහ සංස්කෘතිකමය සබඳතාවයන් පිළිබඳවත් සමාජය විසින් නිර...